පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ පාසල් සිසුන් සහ ක්‍රීඩකයන් දැඩි සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි. විශේෂයෙන්ම මේ දිනවල පාසල්වල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව සහ පුහුණු වීම් සම්බන්ධයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත්, උදෑසන 10.00 සිට පස්වරු 1.00 දක්වා වූ දැඩි රශ්මිය පවතින කාලය තුළ දරුවන් එළිමහන් ක්‍රීඩා කටයුතුවල නිරත කිරීම අවම කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි. දරුවන් එක දිගට ක්‍රීඩා කිරීමට කැමැත්තක් දැක්වුවද, ඔවුන්ට නිතර නිතර විවේකය ලබා දීම, සිසිල් ස්ථානවල රඳවා තැබීම සහ ජලය හෝ ලවණ අඩංගු පානයන් වැඩිපුර ලබා දීම මගින් ඇතිවිය හැකි සංකූලතා වළක්වා ගත හැකිය.
ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා ක්ලාන්තය, අධික විඩාව, හිසකැරකැවිල්ල සහ මස්පිඩු පෙරළීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකි අතර, එම ලක්ෂණ මතු වූ වහාම දරුවා අව් රශ්මියෙන් ඉවත් කර සිසිල් ස්ථානයකට යොමු කළ යුතුය. මෙම තත්ත්වය හඳුනාගෙන නිසි පියවර නොගතහොත් එය ‘තාප කම්පනය’ (Heat Stroke) වැනි අතිශය සංකීර්ණ මෙන්ම මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. යම් හෙයකින් දරුවෙකුගේ කල්පනා ශක්තිය වෙනස් වීමක් හෝ අධික උණ තත්ත්වයක් දක්නට ලැබේ නම් ප්‍රමාද නොවී ළඟම ඇති රජයේ රෝහල වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන කාලගුණ විපර්යාස හමුවේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රීඩා ඉසව් සංවිධානය කිරීමේදී සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අකුරටම පිළිපැදීම සියලුම පාසල් බලධාරීන්ගේ වගකීමකි.













