උතුරු මැද පළාත් සභාවේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සහ වංචා පිළිබඳ තොරතුරු රැසක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) පසුගියදා අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ කමිටුව හමුවේදී හෙළිවූයේ 2011 සහ 2012 වර්ෂවල ගංවතුරෙන් හානි වූ මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කිරීමේදී සිදුවූ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් 10 දෙනාගෙන් නියමිත මුදල් මෙතෙක් අයකරගෙන නොමැති බවයි. එම නිලධාරීන්ගෙන් ඇතැම් පිරිසක් මේ වන විට ජීවතුන් අතර නොමැති බවත්, අනෙක් පිරිසගෙන් මුදල් අයකර ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වී ඇති බවත් නිලධාරීන් පැවසුවද, කමිටුව අවධාරණය කළේ ඔවුන්ට එරෙහිව නීතිපති උපදෙස් මත කඩිනමින් නීතිමය පියවර ගත යුතු බවයි.
මීට අමතරව පලුගස්දමන මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සහ පොළොන්නරුව පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අසම්පූර්ණ ලෙස නිම කර අතහැර දැමීම පිළිබඳව ද මෙහිදී දැඩි අවධානයක් යොමු විය. මෙම ව්‍යාපෘති දෙකම එකම කොන්ත්‍රාත්කරුවෙකු විසින් සිදු කර ඇති අතර, එම කොන්ත්‍රාත්කරු වහාම අසාදු ලේඛනගත (Blacklist) කිරීමටත්, අදාළ ගෙවීම් අයකර ගැනීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳ මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසත් කමිටු සභාපතිවරයා නියෝග කළේය. එසේම පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලකට ලබාදුන් වාර්තා චිත්‍රපට කොන්ත්‍රාත්තුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් ගෙවා තිබියදීත්, අදාළ සමාගම මෙතෙක් කිසිදු වීඩියෝවක් භාර දී නොමැති වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ද උපදෙස් ලැබිණි.
උතුරු මැද පළාතට දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද රුපියල් දස ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ත්‍රිපෝෂ පැකට් තොගයක් නියමිත වේලාවට නොලැබීම නිසා කල් ඉකුත් වීම සහ ඇතැම් පැකට් අස්ථානගත වීම සම්බන්ධයෙන් ද මෙහිදී විමර්ශනයට ලක් විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළාත් සභාව මගින් පවත්වා ඇති පරීක්ෂණ වාර්තාව අසම්පූර්ණ බව පෙනී ගිය බැවින්, ඒ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල කමිටුවට වාර්තා කරන ලෙස කෝපා කමිටු සභාපතිවරයා වැඩිදුරටත් නිර්දේශ කළේය.














