ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන, දැනට විදෙස්ගතව සැඟව සිටින මනෝජ් සුරංග හෙවත් ‘බටුවත්ත චාමර’ නමැත්තාගේ බිරිඳගේ නමින් පවතින රුපියල් ලක්ෂ 400ක් (කෝටි 4ක්) වටිනා සුපිරි තෙමහල් නිවසක් තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද (13) පියවර ගෙන තිබේ. ජා-ඇළ වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි මෙම නිවස මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදවා මිලදී ගෙන ඇති බවට ලැබුණු තොරතුරු මත දින හතක කාලයක් සඳහා මෙලෙස තහනමට ලක් කර ඇති අතර, එම තහනම් නියෝගය දීර්ඝ කිරීම සඳහා මහාධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතය.
මෙම නිවස මීට මාස දෙකකට පෙර වෙනත් පාර්ශ්වයක් විසින් කුලී පදනම මත ලබාගෙන වැඩිහිටි නිවාසයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර, පොලිස් පියවරත් සමඟ එහි සිටි වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකු අද දින ඉන් පිටව ගියහ. බටුවත්ත චාමරගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය මීට පෙර මෙහි පදිංචිව සිට ඇති අතර, පාතාල කල්ලි අතර පවතින ආරවුල් හේතුවෙන් අවස්ථා තුනකදී මෙම නිවස ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම් ද සිදුවී තිබේ. අවසන් වරට පසුගිය 7 වැනිදා ද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.














