ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඊයේ (12) රාත්‍රී 8ට පමණ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය. අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ 2013 වසරේ එයාර්බස් ගනුදෙනුවේදී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන නියෝමාලි විජේනායක සතු සිංගප්පූරු ගිණුමකට අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් මුදලක් බැර වී ඇති බවත්, පසුව එම මුදල් කපිල චන්ද්‍රසේන සතු විදේශ ගිණුම්වලට හුවමාරු වී ඇති බවත්ය.
මෙම නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අතිශය සංවේදී කරුණු කිහිපයක් අධිකරණය හමුවේ අනාවරණය කළේය. අල්ලස් කොමිසමේදී ප්‍රකාශ ලබාගන්නා අතරතුර තම සේවාදායකයාව අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවට රැගෙන ගොස් යම් යම් පුද්ගලයන්ගේ නම් පවසන ලෙසට තර්ජනාත්මකව බලපෑම් කළ බව ඔහු සඳහන් කළේය. “බොරු කියන්න ගිහින් බෙල්ලේ වැල දාගත්ත අයට වුණ දේමයි ඔබටත් වෙන්නේ” යනුවෙන් එහිදී තර්ජනය කර ඇති බවත්, ඒ පිළිබඳව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දීමට කපිල චන්ද්‍රසේන මහතාට අවස්ථාව ලබා දෙන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, අල්ලස් කොමිසමේ නිලධාරීන් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ සැකකරු විසින් එවක පාලන තන්ත්‍රයේ සිටි ප්‍රබල පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය කළ බවයි. ඔවුන්ගේ නම් හෙළි කිරීම සැකකරුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් එම තොරතුරු ඉදිරියේදී සවිස්තරාත්මකව ඉදිරිපත් කරන බව විමර්ශන නිලධාරීන් පැවසීය. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, වංචාවේ බරපතලකම සහ විමර්ශනවල සංකීර්ණභාවය හේතුවෙන් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර, බලපෑම් කිරීම් පිළිබඳ කරුණු ලබන 19 වනදා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ගොනු කරන ලෙස දැනුම් දුන්නේය.
















