රුසියානු තෙල් අපනයනය සඳහා පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක ලිහිල් කිරීමට අමෙරිකානු රජය ගත් තීරණය ලෝක සාමය උදෙසා ගත් පියවරක් නොවන බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසයි. ප්‍රංශයේ සංචාරයක නිරත වෙමින් එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සෙලෙන්ස්කි පෙන්වා දුන්නේ මෙම ලිහිල් කිරීම හරහා රුසියාවට අමෙරිකානු ඩොලර් බිලියන 10ක පමණ අමතර අරමුදල් ප්‍රමාණයක් හිමිවන බවයි. එම මුදල් යුක්‍රේන ආක්‍රමණය තවදුරටත් දරුණු ලෙස ඉදිරියට ගෙනයාම සඳහා රුසියාව විසින් යොදා ගනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අවධාරණය කළේ, අමෙරිකාව සහ ඉශ්‍රායලය ඉරානය සමඟ පවතින යුද්ධය හේතුවෙන් තමන්ට යම් සහනයක් ලැබෙනු ඇතැයි රුසියාව සිතන්නේ නම් එය ඔවුන් කරන බරපතල වැරැද්දක් බවයි. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම මත පදනම්ව රුසියාවට පනවා ඇති සම්බාධක කිසිසේත්ම ඉවත් නොකරන බව පසුගිය ‘G7’ හමුවේදී ද තහවුරු කළ බව ඔහු සිහිපත් කළේය. අමෙරිකාව සහ යුක්‍රේනය අතර පවතින මෙම මතභේදාත්මක තත්ත්වය හමුවේ යුරෝපා සංගමයේ ස්ථාවරය නොවෙනස්ව පවතින බව මැක්‍රොන් වැඩිදුරටත් කියා සිටියේය.














