මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ ගුවන් යානා ඉන්ධන (Jet Fuel) මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම මත ලොව පුරා ගුවන් සේවාවන් සිය ප්‍රවේශපත්‍ර මිල ඉහළ දැමීමට සහ අතිරේක ඉන්ධන ගාස්තු (Fuel Surcharges) පැනවීමට පියවර ගෙන තිබේ. ගුවන් සමාගමක සමස්ත මෙහෙයුම් පිරිවැයෙන් 40%ක් පමණ වැය වන්නේ ඉන්ධන සඳහා වන අතර, වත්මන් අර්බුදය හමුවේ එම පිරිවැය දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව ගුවන් ක්ෂේත්‍රයේ විමර්ශකයෝ පෙන්වා දෙති.
දැනටමත් ඉන්දියාවේ එයාර් ඉන්ඩියා (Air India) සහ ඉන්ඩිගෝ (IndiGo) යන ගුවන් සමාගම් සිය දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අතිරේක ඉන්ධන ගාස්තු හඳුන්වා දී ඇති අතර, එය ගමන් මාර්ගය අනුව ඉන්දීය රුපියල් 425 සිට 2,300 දක්වා පරාසයක පවතී. මීට අමතරව ආසියාවේ සහ යුරෝපයේ අනෙකුත් ප්‍රධාන ගුවන් සමාගම් ද සිය ගාස්තු සංශෝධනය කිරීමට සැරසෙයි. යුද ගැටුම් හේතුවෙන් ගුවන් මාර්ග වෙනස් කිරීමට සිදු වීම ද (Rerouting) මෙම පිරිවැය ඉහළ යාමට තවත් ප්‍රධාන හේතුවක් වී තිබේ.
ශ්‍රී ලංකාවට ද මෙහි බලපෑම එල්ල වනු ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ජාත්‍යන්තර වෙළඳපොළේ ගුවන් යානා ඉන්ධන මිල මෙලෙස දිගින් දිගටම ඉහළ ගියහොත් ඉදිරියේදී මෙරටින් පිටවන සහ මෙරටට පැමිණෙන ගුවන් ප්‍රවේශපත්‍ර මිල ද ඉහළ දැමීමට සිදුවන බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මැදපෙරදිග ගුවන් සීමාවන් භාවිත කිරීමේදී පවතින අවදානම සහ රක්ෂණ වාරික (Insurance Premiums) ඉහළ යාම ද මෙම මිල සංශෝධන කෙරෙහි සෘජුව බලපානු ඇත.














