පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ දරුවන් සහ වැඩිහිටියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඊයේ (මාර්තු 13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දුන්නේ අධික උණුසුම නිසා සිරුරේ ජලය අඩු වීමෙන් ඇති වන සංකූලතා අවම කර ගැනීමට හැකි සෑම අවස්ථාවකදීම ජලය හෝ පිරිසිදු දියර වර්ග පානය කිරීම අත්‍යවශ්‍ය බවයි. විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ ක්‍රීඩා පුහුණුවීම් සහ එළිමහන් කටයුතු සීමා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ද උපදෙස් ලබා දී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මොණරාගල, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් උණුසුම් දර්ශකය අද (මාර්තු 14) දිනයේදීත් ‘අවධානය’ (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බව වාර්තා වේ. අධික උණුසුමට නිරාවරණය වීමෙන් තෙහෙට්ටුව සහ මාංශ පේශි පෙරළීම (Heat Cramps) වැනි තත්ත්වයන් ඇති විය හැකි බැවින් දැඩි හිරු රශ්මිය පවතින අවස්ථාවල එළිමහනේ වෙහෙසකර කටයුතුවල යෙදීමෙන් වැළකී සිටීම වැදගත්ය.
මීට අමතරව වාහන තුළ දරුවන් තනිව රඳවා නොයන ලෙසත්, ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසත් බලධාරීන් වැඩිදුරටත් උපදෙස් දෙයි. යම් හෙයකින් අධික පිපාසය, ක්ලාන්තය හෝ අධික තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වේ.














