ශ්‍රී ලංකාවේ වරාය සහ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ විශේෂ අවධානය යොමු වී තිබේ. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු වී ඇති අතර එම ක්ෂේත්‍රවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහාය වීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කැමැත්ත පළ කර ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය සඳහන් කරන්නේ මෙම සහයෝගීතාව හරහා දෙරට අතර වෙළඳාම සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි.
විශේෂයෙන්ම ඉන්දු-පැසිෆික් කලාපය වඩාත් ආරක්ෂිත සහ සුරක්ෂිත කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම තීරණාත්මක යටිතල පහසුකම් ශක්තිමත් කිරීම වැදගත් වන බව එම කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ භූ-දේශපාලනික පිහිටීම අනුව වරාය සහ ගුවන් සේවා ක්ෂේත්‍ර දියුණු කිරීම ජාත්‍යන්තර වෙළඳාමේදී ඉතා වැදගත් වන බැවින් මෙම නව සහයෝගීතාව මෙරට ආර්ථිකයට ධනාත්මක බලපෑමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කලාපීය ආරක්ෂාව සහ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට ඇමරිකාව මෙහිදී එකඟතාව පළ කර තිබේ.














