ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල සංකීර්ණය තුළ පිහිටි හෙලිකොප්ටර් අංගනයට (Helipad) අද (මාර්තු 14) උදෑසන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉරාක ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරයෙන් පසුව තානාපති කාර්යාල පරිශ්‍රයෙන් දුම් පටලයක් ඉහළට නගින අයුරු දක්නට ලැබුණු බවයි. ලොව විශාලතම ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථානයක් වන මෙම පරිශ්‍රය ඉරානයට හිතවාදී සන්නද්ධ කණ්ඩායම්වල නිරන්තර ඉලක්කයක් බවට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයට සුළු වේලාවකට පෙර බැග්ඩෑඩ් නුවරදී ඉරානයට හිතවාදී සටන්කාමීන් දෙදෙනෙකු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර මෙම මිසයිල ප්‍රහාරය ඊට ප්‍රතිචාරයක් ලෙස එල්ල වූවක් බවට සැක කෙරේ. පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ඉරාකයේ සිටින ඇමරිකානු පුරවැසියන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත් දැඩි අවධානයෙන් පසුවන ලෙසත් ඇමරිකානු තානාපති කාර්යාලය ඊයේ (මාර්තු 13) විශේෂ ආරක්ෂක උපදේශනයක් ද නිකුත් කර තිබුණි. මේ දක්වා ප්‍රහාරයෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව නිල වාර්තා පළ වී නොමැත.














