අබුඩාබි හි පදිංචි කාන්තාවකගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් ඇයගේ ඡායාරූපයක් අවසරයකින් තොරව ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ මාධ්‍ය ජාලයට එක්කළ වෙනත් කාන්තාවකට ඩිරාම් 50,000ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 40කට අධික) වන්දි මුදලක් ගෙවන ලෙස එරට අධිකරණය නියෝග කර තිබේ. තොරතුරු තාක්ෂණය අවභාවිත කරමින් නීති විරෝධී ලෙස අදාළ ඡායාරූපය ප්‍රසිද්ධ කිරීම මගින් පැමිණිලිකාරිය දැඩි මානසික පීඩාවකට, සමාජ අපහසුතාවයකට සහ කීර්ති නාමයට හානි සිදු වී ඇති බව අධිකරණය මෙහිදී තීන්දු කර ඇත.
මෙම සිවිල් නඩු තීන්දුවට පෙර පැවති අපරාධ නඩු විභාගයේදී ද විත්තිකාරිය වැරදිකරු වී ඇති අතර, එහිදී ඇයට ඩිරාම් 50,000ක දඩයක් නියම කර, අදාළ ඡායාරූප වහාම ඉවත් කරන ලෙසත් මාස තුනක කාලයක් අන්තර්ජාලය භාවිතා කිරීම තහනම් කරමින් නියෝග නිකුත් කර තිබුණි. සමාජ මාධ්‍ය හරහා තොරතුරු වේගයෙන් සංසරණය වන බැවින් පුද්ගල ගෞරවයට සිදුවන හානිය බරපතල බවත්, එක් එක් සිද්ධියට අදාළ වන පරිදි සාධාරණ වන්දියක් නියම කිරීම අත්‍යවශ්‍ය බවත් අධිකරණය වැඩිදුරටත් අවධාරණය කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින දැඩි පෞද්ගලිකත්ව නීති (Privacy Laws) පිළිබඳව මෙම තීන්දුව මගින් යළිත් ලෝකයේම අවධානය යොමු වී ඇත.














