දකුණු ඉතියෝපියාවේ හටගත් දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ. මෙම ව්‍යසනයෙන් දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති අතර අතුරුදන් වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ. පවතින ශෝකජනක තත්ත්වය සැළකිල්ලට ගනිමින් අද (මාර්තු 14) සිට ක්‍රියාත්මක වන පරිදි දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉතියෝපියානු රජය පියවර ගෙන තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා සඳහන් කරන්නේ පීඩාවට පත් ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් සැලසීම සහ ප්‍රාදේශීය බලධාරීන්ට සහාය වීම සඳහා සිය සංවිධානය මගින් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් යොමු කර ඇති බවයි. අධික වර්ෂාවත් සමඟ හටගත් මෙම ස්වාභාවික විපත්තිය මෑත කාලීනව එම කලාපයට දැඩි බලපෑම් එල්ල කළ බරපතලම සිදුවීමක් ලෙස සැලකේ. අවතැන් වූ පිරිස් සඳහා සහන සේවා සැපයීමට රජය සහ ජාත්‍යන්තර ආයතන එක්ව කටයුතු කරමින් සිටියි.














