බුද්ධ ශාසනය වෙනුවෙන් දරුවන් පූජා කළ, එහෙත් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ නිසි නිවාස පහසුකම් නොමැතිව පසුවන දෙමාපියන් වෙනුවෙන් ක්‍රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් මූලික සාකච්ඡාව ඊයේ (මාර්තු 13) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මෙම වැඩසටහන යටතේ දිවයින පුරා නිවාස 1,000ක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති අතර, තෝරාගනු ලබන එක් පවුලක් සඳහා රුපියල් ලක්ෂ 15ක මූල්‍ය ආධාරයක් ලබාදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට නියමිතයි.
මෙම සාකච්ඡාවේදී ස්වාභාවික ආපදා හේතුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක “ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ” වැඩසටහන පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරුණා. ඌව පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය කහත්තේවල සිරිනිවාස හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.














