හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනයට බාධා කිරීමට උත්සාහ කළහොත් ඉරානයේ ආර්ථික මර්මස්ථානයක් වන කාර්ග් දූපතේ (Kharg Island) තෙල් යටිතල පහසුකම් විනාශ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. ඉරානයේ තෙල් අපනයනයෙන් 90%ක්ම සිදුවන මෙම දූපතේ සියලුම හමුදා ඉලක්ක දැනටමත් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව පවසන ට්‍රම්ප්, ඉරානය හෝ වෙනත් පාර්ශවයක් නෞකා ගමනාගමනයට බාධා කළහොත් සිය මීළඟ ඉලක්කය තෙල් මධ්‍යස්ථාන වනු ඇති බවට රොයිටර් පුවත් සේවය හරහා අවධාරණය කර තිබේ.
ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු ප්‍රහාර හමුවේ ආරක්ෂා වීමට ඉරානයට හැකියාවක් නොමැති බවයි. එමෙන්ම ඉරාන හමුදාව සහ එරට පාලනයට සම්බන්ධ පිරිස් වහාම ආයුධ බිම තබා රටේ ඉතිරිව ඇති සම්පත් හෝ බේරා ගැනීමට කටයුතු කිරීම ඥානවන්ත වනු ඇති බවට ද ඔහු අනතුරු අඟවා ඇත. දැනටමත් සැපයුම් බාධාවලට ලක්ව ඇති ලෝක තෙල් වෙළඳපොළ මෙම නවතම යුද උණුසුම හමුවේ තවදුරටත් කැළඹීමට ලක්වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














