මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ගුවන් යානා ඉන්ධන මිල සියයට පනහකට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පසුගිය පෙබරවාරි 27 වැනිදා ඇමරිකානු ඩොලර් 93.57 ක්ව පැවති ගුවන් යානා ඉන්ධන බැරලයක මිල මේ වන විට ඩොලර් 209 දක්වා දෙගුණයකටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. මෙම මිල ඉහළ යෑමට සාපේක්ෂව ඉදිරියේදී ගුවන් ටිකට්පත් මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පෙන්වා දෙන්නේ පවතින යුද තත්ත්වය හේතුවෙන් මෙරටට ද මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වූ බවයි. මේ හේතුවෙන් මත්තල ගුවන්තොටුපොළ වෙත රුසියාවෙන් සහ යුක්රේනයෙන් පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාව ද අවම වී ඇත. කෙසේ වෙතත්, මීට පෙර ප්‍රවේශපත් වෙන්කර ඇති මගීන් සඳහා මෙම මිල ඉහළ යෑම බලනොපාන අතර, මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මගීන්ගේ ඉල්ලීම මත ක්‍රියාත්මක කරන විශේෂ ගුවන් වාර සඳහා නව මිල ගණන් අදාළ වනු ඇත.














