සමස්ත සෞඛ්‍ය පද්ධතියේ සහ වෛද්‍යවරුන්ගේ සංවේදී දත්ත ඇතුළත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට කිසියම් පාර්ශවයක් අනවසරයෙන් ඇතුළු වී ඇත්දැයි බරපතල සැකයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. අමාත්‍යාංශ වෙබ් අඩවිය තුළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවකට අදාළ බව කියන ලිපියක් අලුතින් ඇතුළත් කර තිබීම මෙම සැකයට මුල් වී තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, එම ලිපිය අමාත්‍යාංශයේ නිසි අනුමැතියකින් තොරව කිසියම් පාර්ශවයක් විසින් වෙබ් අඩවියට එක්කර ඇති බවට සැක කරන බවයි. මෙවැනි අනවසර ඇතුළුවීමක් හරහා පද්ධතියේ පවතින දත්තවල ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු විය හැකි බැවින්, මේ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස එම සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.














