ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව පවත්වනු ලබන දැවැන්ත ඒකාබද්ධ යුද අභ්‍යාසය මධ්‍යයේ, උතුරු කොරියාව විසින් සිය නැගෙනහිර වෙරළ තීරයෙන් මුහුද දෙසට ප්‍රක්ෂේපණයක් (Projectile) මුදා හැර ඇති බව දකුණු කොරියානු සහ ජපාන ආරක්ෂක අංශ තහවුරු කරයි. ජපාන බලධාරීන් පෙන්වා දෙන්නේ මෙය බැලැස්ටික් මිසයිලයක් විය හැකි බවයි. කෙසේ වෙතත් එම ප්‍රක්ෂේපණය ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් පිටත මුහුදට පතිත වී ඇති බැවින් ඉන් සෘජු හානියක් සිදුව නොමැති බව ජපාන වෙරළාරක්ෂක බලකාය පවසයි.
දකුණු කොරියාව සහ ඇමරිකාව විසින් දින පහකට පෙර ආරම්භ කළ මෙම යුද අභ්‍යාසය හුදෙක් උතුරු කොරියාවේ හමුදා තර්ජනවලට මුහුණ දීම සඳහා වන ආරක්ෂක පියවරක් බව එම රටවල් ප්‍රකාශ කර තිබුණ ද, උතුරු කොරියාව එය සලකනු ලබන්නේ තමන්ට එරෙහි ආක්‍රමණශීලී සූදානමක් ලෙසය. කලාපීය යුද උණුසුම තීව්‍ර කරමින් උතුරු කොරියාව සිදුකළ මෙම අත්හදා බැලීමත් සමඟ දකුණු කොරියානු හමුදාව සිය සීරුවෙන් තැබීමේ මට්ටම ඉහළ නංවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














