පේරාදෙණිය යකා පාලමේ ඉදිකිරීම් කටයුතු රජය පොරොන්දු වූ පරිදි එළඹෙන අප්‍රේල් 28 වැනිදා වන විට අවසන් කිරීමට හැකියාවක් නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පෙන්වා දෙන්නේ “දිට්වා” කුණාටුවෙන් පාලමට හානි සිදුවී මාස තුනක් ගතවී ඇතත්, එහි ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත් නොවීම හේතුවෙන් පාලම යළිත් ඇද වීමකට ලක්ව ඇති බවයි.
පාලමේ වැඩ කටයුතු මේ වන විට ඇණහිට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් රජයට හිතවාදී පාර්ශවයන් වැරදි තොරතුරු ප්‍රචාරය කරන බවත් සභාපතිවරයා චෝදනා කරයි. උලපනේ සහ නාවලපිටිය අතර මාස තුනක් තිස්සේ නතර වී ඇති දුම්රිය එන්ජිම රැගෙන යාමට පවා දෙපාර්තමේන්තුව මෙතෙක් පියවර ගෙන නොමැති බව ඔහු සඳහන් කළේය. පාලමේ වැඩ ප්‍රමාද වීම හේතුවෙන් මහනුවර සිට දිනපතා සේවයට වාර්තා කරන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් මෙන්ම මගී ජනතාව ද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.














