ජාතික ඉන්ධන අවසර පද්ධතිය (QR) යටතේ නව වාහන ලියාපදිංචි කිරීමේදී සහ හිමිකාරිත්වය වෙනස් වූ වාහන ලියාපදිංචි කිරීමේදී පැවැති බාධා මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව බලධාරීන් දැනුම් දෙයි. ඒ අනුව, මෙතෙක් පද්ධතියට ලියාපදිංචි නොවූ වාහන හිමියන්ට සහ නව වාහන මිලදී ගත් පුද්ගලයන්ට දැන් කිසිදු අපහසුවකින් තොරව fuelpass.gov.lk නිල වෙබ් අඩවියට පිවිස ‘Vehicle Registration’ අංශය ඔස්සේ සිය තොරතුරු ඇතුළත් කර නව QR කේතය ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
පැරණි QR කේතය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පාරිභෝගිකයන්ට තම කේතය යාවත්කාලීන කරගැනීමේ පහසුව මුල සිටම පැවති අතර, අලුතින් ලියාපදිංචි වන්නන්ට පමණක් මතු වූ එම තාක්ෂණික ගැටලුව මෙලෙස නිරාකරණය කර ඇත. මීට අමතරව, කෘෂිකාර්මික කටයුතු සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන ලබා ගැනීමේදී පවතින ගැටලුවලට ද අද (15) පස්වරුව වන විට විසඳුම් ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන කළමනාකරණය සඳහා පැනවූ මෙම පද්ධතිය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර මේ වන විට ගෙන තිබේ.














