පලස්තීන හමාස් සංවිධානය සිය ප්‍රධානතම මිත්‍ර පාර්ශවය වන ඉරානයෙන් විශේෂ ඉල්ලීමක් කරමින්, අසල්වැසි ගල්ෆ් කලාපීය රටවල් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර නතර කරන ලෙස ඉල්ලා තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා (Fujairah) වරායට සෙනසුරාදා එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමඟ කලාපීය නොසන්සුන්තාව ඉහළ ගොස් ඇති පසුබිමක හමාස් සංවිධානය මෙම නිවේදනය නිකුත් කර ඇත.
සිය ප්‍රකාශය මඟින් හමාස් සංවිධානය පෙන්වා දෙන්නේ “සහෝදරත්වයේ බැඳීම් රැකගැනීම” සඳහා කලාපයේ සියලු රටවල් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. කෙසේ වෙතත්, ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර හමුවේ තමන්ව ආරක්ෂා කර ගැනීමට ඉරානයට ඇති අයිතිය හමාස් සංවිධානය මෙහිදී යළිත් තහවුරු කර තිබේ.
ඉරාන බලධාරීන් පවසන්නේ තමන් ඉලක්ක කරන්නේ ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථාන පමණක් බව වුවද, පසුගිය දිනවල එල්ල වූ ප්‍රහාර රැසක් එම රටවල සිවිල් යටිතල පහසුකම් වෙත එල්ල වී තිබීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇත.














