මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේදී මතුවිය හැකි අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමඟ විශේෂ හමුවක් පැවැත්වීය. ගෝලීය අස්ථාවරත්වය හමුවේ දේශීය සැපයුම් දාමයන්ට එල්ල විය හැකි බලපෑම අවම කිරීම සහ ප්‍රධාන ක්ෂේත්‍රයන්හි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
ජාතික ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ පියවරක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ‘නිවසේ සිට වැඩ කිරීමේ’ (Work from Home) ක්‍රමවේදය හඳුන්වා දීමේ ඇති ප්‍රායෝගික හැකියාව පිළිබඳව වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මීට අමතරව, කෘෂිකාර්මික, ධීවර සහ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි කටයුතු පවත්වාගෙන යාම සඳහා ඩිජිටල් QR පද්ධතිය හරහා විධිමත් ලෙස ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.














