ශ්‍රී ලංකාව ජපානය තුළ ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, 11 දෙනෙකුගෙන් යුත් ජපාන නියෝජිත පිරිසක් ඊයේ (14) ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණියහ. Connaissance De Ceylan ආයතනයේ සම්බන්ධීකරණයෙන් මෙරටට පැමිණි මෙම පිරිස, ශ්‍රී ලංකාවේ ජන ඉතිහාසය, බුදුදහමේ විකාශනය, ආයුර්වේදය සහ සාම්ප්‍රදායික ආහාර රටාවන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරයේ විශේෂත්වය වන්නේ කොළඹ, අනුරාධපුරය, සීගිරිය, මහියංගණය සහ මහනුවර වැනි ඓතිහාසික ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙරට සංස්කෘතික උරුමය ජාත්‍යන්තරයට ගෙන යාමට සාකච්ඡා කිරීමයි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවලදී, ජපාන නියෝජිතයන් අවධාරණය කළේ තමන් ලබා ගන්නා මෙම අත්දැකීම් ජපාන ජනතාව අතර ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවයි. මෙම දූත පිරිස සපුගස්කන්ද පුරාණ විහාරය, මිහින්තලය, දඹාන වැදි ජනපදය සහ වරාය නගරය (Port City) ඇතුළු සුවිශේෂී ස්ථාන රැසක් නිරීක්ෂණය කිරීමට ද එක්ව සිටිති.














