එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය විසඳීම සඳහා සංස්කෘතික ක්ෂේත්‍රයේ විද්වතුන් සහ ජ්‍යොතිෂවේදීන් අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට (16) පෙරවරුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය. විවිධ පාර්ශවයන් විසින් වෙනස් නැකත් වේලාවන් ඉදිරිපත් කිරීම හේතුවෙන් මහජනතාව තුළ ඇති වී තිබෙන අවිශ්වාසය සහ පාලකයන් වෙත එල්ල වන විවේචන සමනය කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණයි.
බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුවේදී පාර්ශවයන් අතර එකඟතාවක් ඇති වුවහොත්, නිල ‘නැකත් සීට්ටුව’ හෙට දිනයේම ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 1991 සිට නැකත් සීට්ටුව සකස් කළ රාජ්‍ය නැකත් කමිටුව පසුගිය කාලයේදී විසිරුවා හැරීම හේතුවෙන් මෙම වසරේ නැකත් සකස් කිරීමේදී ප්‍රමාදයක් සහ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.
මේ අතර, රජය නැකත් ප්‍රකාශ කිරීම ප්‍රමාද කරන්නේ නම් තමන් මැදිහත් වී නැකත් සීට්ටුවක් සකස් කරන බවට ‘සර්වජන බලය’ පක්ෂය කළ ප්‍රකාශයකට අනුව, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් විද්වත් කණ්ඩායමක් විසින් සකස් කරන ලද නැකත් සීට්ටුවක් ද ඊයේ (14) දින ප්‍රසිද්ධියට පත් කෙරිණි. හෙට පැවැත්වෙන රාජ්‍ය මට්ටමේ සාකච්ඡාවෙන් පසු මේ වසරේ සමස්ත රටම අනුගමනය කළ යුතු පොදු නැකත් වේලාවන් පිළිබඳ නිල නිවේදනය නිකුත් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














