කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව සති දෙකකට වැඩි කාලයක් තායිවාන ගුවන් සීමාවෙන් බැහැරව සිටි චීන හමුදා යානා, යළිත් වරක් විශාල වශයෙන් තායිවාන සමුද්‍ර සන්ධිය අවට මෙහෙයුම් ආරම්භ කර ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය අද (මාර්තු 15) නිවේදනය කළේය. පසුගිය පැය 24 තුළ චීන ප්‍රහාරක යානා 26ක් සිය ගුවන් සීමාව ආසන්නයේ හඳුනාගත් බව තායිවානය පවසයි.
පසුගිය පෙබරවාරි 27 වනදා සිට මාර්තු 7 වනදා දක්වා කාලය තුළ චීන හමුදා යානා කිසිවක් වාර්තා වී නොතිබූ අතර, එතැන් සිට අද දක්වා වාර්තා වූයේ ඉතා කුඩා පරිමාණයේ ගුවන් ගමන් කිහිපයක් පමණි. සාමාන්‍යයෙන් කාලගුණික බාධා පවතින අවස්ථාවලදී හැරුණු විට, චීනය දිනපතාම පාහේ තායිවානය වටා මෙවැනි හමුදා පෙරහුරු සිදු කරන බැවින්, මෙම හදිසි නිහඬතාවය සහ යළිත් ප්‍රහාරක යානා පැමිණීම පිළිබඳව තායිපේ බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.
තමන් සතු භූමියක් ලෙස සලකන තායිවානය වෙත බලපෑම් කිරීම සඳහා චීනය නිරන්තරයෙන් මෙවැනි “ඒකාබද්ධ සටන් සූදානම පිළිබඳ මුර සංචාර” (Joint combat readiness patrols) පවත්වන නමුත්, මෙම සති දෙකක නිහඬතාවය පිළිබඳව බෙයිජිං පාලනය මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.














