ඉරානය සහ ඇමරිකා-ඊශ්‍රායල හමුදා අතර පවතින දරුණු යුද ගැටුම් හේතුවෙන් පරිසරයට මුදා හැරෙන විෂ සහිත රසායනික ද්‍රව්‍ය හා බැර ලෝහ ඉදිරි දශක කිහිපය පුරාම බලපෑම් එල්ල කරනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති. විශේෂයෙන්ම පසුගිය මාර්තු 8 වනදා ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ටෙහෙරාන් අගනුවර තෙල් ගබඩා සහ පිරිපහදු ගිනි ගැනීමට ලක්වීමත් සමඟ, ඉන් නිකුත් වූ කළු දුමාරය වර්ෂාව සමඟ මිශ්‍ර වී නගරයට ‘කළු වැසි’ (Black rain) ඇද හැලී තිබේ.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මිසයිල සහ බෝම්බ පිපිරීමේදී වාතයට, පසට සහ ජලයට කැඩ්මියම්, ක්‍රෝමියම්, නිකල් සහ ඊයම් වැනි බැර ලෝහ විශාල වශයෙන් එකතු වන බවයි. මෙම විෂ දූෂක පෙනහළු සහ ශ්වසන පද්ධතියට මෙන්ම සමස්ත සෞඛ්‍ය පද්ධතියටම දීර්ඝකාලීන තර්ජනයක් වන බව බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නෙජාත් රහ්මේනියන් (Nejat Rahmanian) ඇතුළු පිරිස පෙන්වා දෙති. මෙම තත්ත්වය මීට වසර 35කට පෙර ඉරානය අත්විඳි පාරිසරික විනාශයට සමාන ලක්ෂණ පෙන්නුම් කරන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.














