ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය හරහා සිදුකරන පණිවුඩ හුවමාරු සඳහා මෙතෙක් ලබාදී තිබූ ‘අන්තයේ සිට අන්තයට සංකේතනය කිරීමේ’ (End-to-End Encryption) පහසුකම 2026 මැයි 8 වනදා සිට නතර කිරීමට තීරණය කර ඇති බව එම සමාගම තහවුරු කරයි. මෙම වෙනස්කම හේතුවෙන්, බාහිර පාර්ශ්වයන්ට පණිවුඩ කියවීමට නොහැකි වන සේ විශේෂිත ආරක්ෂක යතුරක් මගින් සුරක්ෂිත කර තිබූ පණිවුඩ හුවමාරු පහසුකම පරිශීලකයන්ට තවදුරටත් භාවිත කළ නොහැකි වනු ඇත.
මෙම යාවත්කාලීනය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මෙටා (Meta) සමාගම සඳහන් කර ඇත්තේ, මෙම විශේෂාංගය ඉවත් කිරීමට පෙර තමන් සුරක්ෂිතව තබා ගැනීමට කැමති පණිවුඩ හෝ ඡායාරූප/වීඩියෝ (Media) ඇත්නම් ඒවා බාගත (Download) කර ගන්නා ලෙසයි. මැයි 8 වනදායින් පසු මෙම පණිවුඩවල ආරක්ෂක ස්ථරය ඉවත් වන බැවින්, අදාළ පණිවුඩ ලබාගන්නා ආකාරය පිළිබඳ උපදෙස් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වෙත යොමු කරන බව ද සමාගම වැඩිදුරටත් පවසා සිටියි.
මෙම පණිවුඩ බාගත කිරීමේදී ඉන්ස්ටග්‍රෑම් ඇප් එකේ පැරණි සංස්කරණ (Versions) භාවිත කරන පරිශීලකයන් තම ඇප් එක යාවත්කාලීන (Update) කරගත යුතු බව ද එම නිවේදනයේ සඳහන් වේ. ඉන්ස්ටග්‍රෑම් මෙම තීරණය ගැනීමට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැති වුවත්, මෙය පෞද්ගලිකත්වය අගය කරන පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වීමට නියමිතය.














