මැදපෙරදිග යුදමය වාතාවරණය මධ්‍යයේ ඉරානය විසින් අවහිර කර ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ ඉරානය අතර පවත්වන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි. ඉරානය සමඟ සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් හමුවේ යම් සුබවාදී ප්‍රතිඵල ලැබෙමින් පවතින බවත්, එහි ප්‍රගතියක් ලෙස ඉන්දීය ධජය සහිත ගෑස් නෞකා දෙකකට පසුගිය සෙනසුරාදා එම මුහුදු මාර්ගය තරණය කිරීමට අවසර හිමි වූ බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, සියලුම ඉන්දීය නෞකා සඳහා මෙතෙක් පොදු අවසරයක් හිමි වී නොමැති අතර, තවත් නෞකා 22ක් අවසර ලැබෙන තෙක් මුහුදේ රැඳී සිටියි. පසුගිය පෙබරවාරි 28 වන දින අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු උද්ගත වූ යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානය මෙම වැදගත් නාවික මාර්ගය වසා දැමීමට පියවර ගත්තේය.
ඉන්දියාවේ බොරතෙල් අවශ්‍යතාවයෙන් 40% – 50%ක් පමණ ප්‍රවාහනය වන්නේ මෙම මාර්ගය හරහා බැවින්, පවතින අවහිරතාවය ඉන්දියාවට දැඩි බලපෑමක් එල්ල කර ඇත. මේ වන විටත් ඉන්දියාවේ ප්‍රධාන නගර රැසක ඉවුම් පිහුම් ගෑස් හිඟයක් ඇති වී තිබීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින අතර, ගෑස් නොමැතිකම නිසා ඇතැම් ආපනශාලා පවා වසා දැමීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














