ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුතු වන බැරන් ට්‍රම්ප්ගේ (Barron Trump) අවසරයකින් තොරව ලබාගත් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් ජනාධිපති ආර්ය මෙලානියා ට්‍රම්ප් සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ. මෙම සිදුවීමට වගකිවයුත්තන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවට ඇය අනතුරු අඟවා ඇත.
මොනැකෝ හි මා-අ-ලාගෝ (Mar-a-Lago) ගොල්ෆ් සමාජයේ සාමාජිකයන් පිරිසක් විසින් උත්සව සමයකදී මෙම ඡායාරූපය ලබාගෙන ඇති බව වාර්තා වේ. එම ඡායාරූපයේ බැරන් ට්‍රම්ප් සිය පියා පසුපසින් කෑම ශාලාවක් හරහා ගමන් කරන අයුරු දැක්වෙන අතර, ඔහු ඉතා සංවේදී හා නිහඬ ස්වරූපයකින් පසුවන බව මාධ්‍යවේදී රොබ් ශුටර් (Rob Shuter) සඳහන් කර ඇත. බැරන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තමා කිසිසේත් එකඟතාවකට නොපැමිණෙන බවත්, අවසරයකින් තොරව ඡායාරූප ගන්නා ඕනෑම අයෙකුට එම සමාජ ශාලාව තහනම් කිරීම ඇතුළු බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවත් මෙලානියා ට්‍රම්ප් අවධාරණය කර තිබේ.
මේ අතර, පසුගිය ඉරිදා (මාර්තු 15) පැවැති ඔස්කාර් සම්මාන උළෙලේදී නිවේදක ජීමී කිමෙල් (Jimmy Kimmel) විසින් මෙලානියා ට්‍රම්ප් පිළිබඳව කළ උපහාසාත්මක ප්‍රකාශයක් ද දැඩි අවධානයට ලක් විය. ඔහු එහිදී ඇමසන් (Amazon) නාලිකාව හරහා නිකුත් වූ ‘Melania’ වාර්තා චිත්‍රපටය පිළිබඳව හාස්‍යජනක ලෙස අදහස් දැක්වීය. ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඇය නැවත ධවල මන්දිරයට පැමිණීම තේමා කරගත් මෙම වාර්තා චිත්‍රපටය වෙනුවෙන් මෙලානියාට ඩොලර් මිලියන 40ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වුවද, ඇය ප්‍රකාශ කර ඇත්තේ මුදලට වඩා මෙම නිර්මාණය පිළිබඳව තමා ආඩම්බර වන බවයි.














