ඉක්වදෝරයේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක නායකයෙකු වන ඇන්ජල් එස්ටෙබන් අගිලර් (Ángel Esteban Aguilar), මෙක්සිකෝ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. “Lobo Menor” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොහු, 2023 වසරේදී ඉක්වදෝර ජනාධිපති අපේක්ෂක ප්‍රනාන්දු විලාවිසෙන්සියෝ (Fernando Villavicencio) ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකි. ව්‍යාජ කොලොම්බියානු අනන්‍යතාවයක් භාවිතා කරමින් සැඟව සිටි මොහු අත්අඩංගුවට ගැනීමට මෙක්සිකෝව, ඉක්වදෝරය සහ කොලොම්බියාව යන රටවල් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබුණි.
ඉක්වදෝරයේ ‘Los Lobos’ නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාලයේ නායකයෙකු වන අගිලර්, ජාත්‍යන්තර පොලිසිය (Interpol) මගින් රතු නිවේදන නිකුත් කර සිටි අයෙකි. කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මොහුව හඳුන්වා ඇත්තේ “ලොව සිටින කුප්‍රකටම ඝාතකයෙකු” ලෙසයි. ඉක්වදෝරය හරහා සිදුවන මහා පරිමාණ කොකේන් ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම ප්‍රබල ජයග්‍රහණයක් බව ආරක්ෂක අංශ පවසයි.














