මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති ඉරාන යුද්ධය හේතුවෙන් ඇමරිකාව, රුසියාව සහ යුක්රේනය අතර පැවැත්වෙන ත්‍රෛපාර්ශ්වික සාම සාකච්ඡා තාවකාලිකව අත්හිටුවා ඇති බව රුසියාවේ ‘Izvestia’ පුවත්පත අද (මාර්තු 19) වාර්තා කළේය. ක්‍රෙම්ලීන් මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කර ඇත්තේ, වත්මන් භූදේශපාලනික තත්ත්වය හමුවේ සාම සාකච්ඡා මෙහෙයවන ත්‍රෛපාර්ශ්වික කණ්ඩායමේ කටයුතු මෙලෙස අත්හිටුවා ඇති බවයි.
ඉරාන යුද්ධය හේතුවෙන් ඇමරිකාවේ අවධානය යුක්රේනයෙන් බැහැර වීම, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හට රුසියාව සමඟ යම් එකඟතාවයකට හෝ සම්මුතියකට (compromise) එළඹීමට බලපෑ හැකි බව රුසියානු නිලධාරීන් විශ්වාසය පළ කරති. රුසියානු ජනාධිපති විශේෂ නියෝජිත කිරිල් දිමිත්‍රිව් (Kirill Dmitriev) ආයෝජන සහ ආර්ථික සහයෝගීතා කටයුතු තවදුරටත් සිදු කළද, සාම සාකච්ඡා සඳහා වන නිල ක්‍රියාවලිය දැනට පවතින්නේ අත්හිටුවන ලද මට්ටමකය.
පසුගිය පෙබරවාරි මාසයේදී ජිනීවා නුවරදී පැවැති තෙවන වටයේ සාකච්ඡාවලින් අනතුරුව මීළඟ වටය පවත්වන දිනයක් හෝ ස්ථානයක් පිළිබඳව මෙතෙක් එකඟතාවයකට පැමිණ නොමැති බව ක්‍රෙම්ලීනය මීට පෙරද ප්‍රකාශ කර තිබුණි. යුරෝපා රටවල් මෙම සාකච්ඡා මේසයට එක්කර ගැනීමට රුසියාව මීට පෙර දැඩි අකමැත්තක් පළ කළ අතර, වත්මන් ඉරාන අර්බුදය හමුවේ ලෝක තෙල් මිල ඉහළ යාම රුසියානු ආර්ථිකයට යම් වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇති බව ද විදේශීය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















