ඊශ්‍රායලය විසින් ඉරානයේ දකුණු පාර්ස් (South Pars) ගෑස් නිධියට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සවුදි අරාබියේ බලශක්ති මධ්‍යස්ථාන වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු කලාපීය යුද තත්ත්වය අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (මාර්තු 19) ප්‍රකාශ කළේ ඊශ්‍රායලය විසින් එල්ල කළ එම ප්‍රහාරය පිළිබඳව ඇමරිකාව පූර්ව දැනුවත් කිරීමක් සිදු කර නොතිබූ බවත්, මින් ඉදිරියට ඊශ්‍රායලය ඉරාන ගෑස් නිධි ඉලක්ක නොකරනු ඇති බවත්ය.
ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් කටාර්හි ‘Ras Laffan’ කාර්මික නගරයේ පිහිටි ද්‍රව ස්වභාවික වායු (LNG) මධ්‍යස්ථානවලට දැඩි හානි සිදුව ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හබ්ෂාන් (Habshan) ගෑස් මධ්‍යස්ථානය සහ සවුදි අරාබියේ රියාද් නුවර ආසන්නයේ පිහිටි තෙල් පිරිපහදුවක් ද ප්‍රහාරයන්ට ලක්ව තිබේ. මීට ප්‍රතිචාර ලෙස කටාර් රජය එරට ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකට පැය 24ක් ඇතුළත රටින් පිටවන ලෙස නියෝග කර ඇති අතර, සවුදි අරාබිය ද අවශ්‍ය වුවහොත් මිලිටරිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට අයිතියක් ඇති බව අවධාරණය කර ඇත.
ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් අනතුරු අඟවමින් කියා සිටියේ, ඉරානය විසින් කටාර් වැනි අහිංසක පාර්ශවයන් වෙත නැවත ප්‍රහාර එල්ල කිරීමට තීරණය කළහොත් මුළු දකුණු පාර්ස් ගෑස් නිධියම මුළුමනින්ම විනාශ කිරීමට ඇමරිකාව පියවර ගන්නා බවයි. මේ අතර ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරන්නේ සතුරා බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කිරීම හේතුවෙන් යුද්ධය නව අදියරකට පිවිසි බවත්, එවැනි ප්‍රහාර නැවත සිදුවුවහොත් සතුරාගේ සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන්ගේ බලශක්ති මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කරන තෙක් ප්‍රහාර නතර නොකරන බවත්ය.
















