ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන විශේෂ නියෝජිත සහ ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුවක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම හමුවේදී වත්මන් මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පිළිබඳව ජනාධිපතිවරයා ඇමරිකානු නියෝජිත පිරිස දැනුවත් කළේය. විශේෂයෙන්ම මෙම යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව වැනි රටවලට මුහුණ දීමට සිදුව ඇති ආර්ථික සහ බලශක්ති අභියෝග පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. දෙරට අතර ආර්ථික සහ දේශපාලනික සහයෝගීතාවය ඉදිරියට ගෙන යාම සඳහා මෙම හමුව ඉතා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.












