පසුගිය රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කිරීම මගින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනා මත හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන අගෝස්තු මස 25 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරමින් පවතින බවයි. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විමර්ශනවල ප්‍රගතිය එදිනට අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය. මීට පෙර ද මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් දැඩි සමාජ කතාබහක් ඇති වූ අතර, විමර්ශන අවසන් කිරීම සඳහා අල්ලස් කොමිසම දිගින් දිගටම අධිකරණයෙන් කාලය ඉල්ලා සිටියි.














