කැනඩාවේ රාජකීය අශ්වාරෝහක පොලිසියේ (RCMP) කොමසාරිස් මයික් ඩුහේම් (Mike Duheme) මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියානු රජය සහ කැනඩාව තුළ සිදුවූ දේශසීමා මර්දනයන් හෝ විදේශීය මැදිහත්වීම් අතර කිසිදු සෘජු සබඳතාවක් දැනට අනාවරණය වී නොමැති බවයි. CTV News නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කර තිබේ.
විදේශීය මැදිහත්වීම් හෝ පුද්ගලයන් බිය ගැන්වීම් සම්බන්ධයෙන් දැනට පවතින කිසිදු අපරාධ විමර්ශනයකදී ඉන්දියාව වැනි විදේශීය රාජ්‍යයක් ඊට සම්බන්ධ බවට සාක්ෂි හමු වී නොමැති බව කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. ඇතැම් පිරිස් පුද්ගලයන්ට හිරිහැර කිරීම් සිදු කළ ද, ඒවා කිසියම් රටක නිල මැදිහත්වීමක් මත සිදුවූ බවට තහවුරු කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
2024 ඔක්තෝබර් මාසයේදී කැනඩා පොලිසිය විසින් ඉන්දියානු නිලධාරීන්ට එරෙහිව බරපතල චෝදනා එල්ල කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දෙරටේම තානාපති නිලධාරීන් ඉවත් කර ගැනීමට කටයුතු කෙරිණි. කෙසේ වෙතත්, වත්මන් කැනඩා අග්‍රාමාත්‍ය මාක් කාර්නි (Mark Carney) මහතාගේ ඉන්දියානු සංචාරයට පෙර එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දියාව කැනඩාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට මැදිහත් වන බවට දැන් සැක නොකරන බවයි.
පසුගිය පෙබරවාරි අග භාගයේදී පැවැති තාක්ෂණික වාර්තාකරණයකදී ද කැනඩා නිලධාරීන් පෙන්වා දුන්නේ මෙවැනි නීති විරෝධී ක්‍රියාකාරකම් තවදුරටත් සිදු වන්නේ නම් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරය නොකරනු ඇති බවයි. මෙම නවතම ප්‍රකාශයන් සමඟ වසර කිහිපයක් තිස්සේ ඉන්දියාව සහ කැනඩාව අතර පැවැති රාජ්‍යතාන්ත්‍රික නොසන්සුන්තාවය නිමාවට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














