පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකවරයා අද (20) සිය සහතිකය සටහන් කළේය. ශ්‍රී ලංකාව තුළ මුදල් ණයට දීමේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම මෙන්ම අධීක්ෂණය කිරීම සඳහා ශක්තිමත් නෛතික රාමුවක් හඳුන්වා දීමට මෙම පනත මගින් නව නියාමන අධිකාරියක් පිහිටුවීමට ප්‍රතිපාදන සලසා ඇත. බලපත්‍රලාභී මුදල් ණයට දෙන්නන් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම, එම ආයතන හා සම්බන්ධ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සහ මහ බැංකුව ඇතුළු අනෙකුත් නියාමන ආයතන සමඟ සම්බන්ධීකරණය පවත්වාගෙන යාම මෙම අධිකාරියේ ප්‍රධාන අරමුණ වේ. මෙම නව පනත මගින් 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි වන අතර ඒ හා සම්බන්ධ සෙසු විධිවිධාන ද බලාත්මක වනු ඇත. 2025 නොවැම්බර් 26 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2026 මාර්තු 04 වන දින සම්මත වූ මෙම කෙටුම්පත අද සිට 2026 අංක 9 දරන ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත ලෙස නිල වශයෙන් ක්‍රියාත්මක වේ.














