ඉදිරි යල කන්නය සඳහා අවශ්‍ය බීජ, පොහොර සහ සෙසු සියලුම කෘෂි යෙදවුම් ප්‍රමාණවත් පරිදි ශ්‍රී ලංකාව තුළ පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය පවසයි. මැදපෙරදිග කලාපයේ පවතින යුද වාතාවරණය හමුවේ වුවද මෙරට කෘෂිකර්මාන්තයට හෝ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට ඉන් සැලකිය යුතු හානියක් සිදු නොවනු ඇතැයි ඇය අවධාරණය කළාය. ගන්නෝරුව ජාතික කෘෂිකර්ම හා තොරතුරු මධ්‍යස්ථානයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ මහ කන්නයේ අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල යල කන්නයේ වගා කටයුතු ද දැනටමත් ආරම්භ කර ඇති බවයි. විශේෂයෙන්ම යල කන්නය සඳහා කිසිදු බිත්තර වී හිඟයක් මතු නොවන බවත් පහතරට එළවළු බීජ දේශීයව නිපදවා ගන්නා බැවින් බීජ හිඟයකින් තොරව වගා කටයුතු අඛණ්ඩව කරගෙන යාමට හැකි බවත් ඇය පෙන්වා දුන්නාය. එසේම ගොවියන් වෙත අවශ්‍ය කෘෂි තාක්ෂණය ලබාදීමේ බිම් මට්ටමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වන අතර බීජ සහතික කිරීමේ සේවාව මගින් ගුණාත්මක බීජ නිකුත් කිරීමට කටයුතු කර ඇති බව ද අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
















