පවතින මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ සිය රට කිසිදු ගැටුමකට සම්බන්ධ කර නොගෙන ආරක්ෂා කර ගැනීමට උපරිමයෙන් කටයුතු කරන බව සිරියානු ජනාධිපති අහමඩ් අල්-ෂාරා (Ahmed Al-Sharaa) අවධාරණය කළේය. දමස්කස් නුවර ජනාධිපති මාලිගයේ පැවැති ඊද් අල්-ෆිතර් උත්සව දේව මෙහෙයෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, සිරියාව මේ වන විට කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් සියලුම අසල්වැසි රටවල් සමඟ යහපත් සබඳතා පවත්වමින් සිටින බවයි.
පසුගිය වසර 15ක කාලය පුරා සිරියාව විවිධ අභ්‍යන්තර ගැටුම් සහ කුමන්ත්‍රණවල මධ්‍යස්ථානයක්ව පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා, වත්මන් ලෝක බලවතුන් අතර පවතින ගැටුම් හමුවේ ඉතා සූක්ෂම ලෙස සහ දැඩි විමසිල්ලෙන් යුතුව සිය පියවර තබන බව ප්‍රකාශ කළේය. අරාබි ලෝකයේ සහෝදර රටවල් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බව පවසන ඔහු, සිරියානු භූමිය තවදුරටත් යුද පිටියක් වීමට ඉඩ නොතබන බවට සහතික විය.
පසුගිය පෙබරවාරි 28 වනදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් ඇරඹි මෙම මැදපෙරදිග යුද්ධය, මේ වන විට ලෙබනනය සහ ඉරාකය දක්වා ව්‍යාප්ත වී ඇතත් සිරියාව මෙතෙක් එම ගැටුම්වලින් දුරස්ථව සිටීමට සමත් වී තිබේ. කෙසේ වෙතත්, දකුණු දිග සිරියාවේ ස්වේඩා (Sweida) ප්‍රදේශයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වයන්ට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල හමුදාව සිරියානු හමුදා කඳවුරු කිහිපයකට අද (20) ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ. සිරියාව දරුණු යුද්ධයකින් බැහැරව සිටියද, කලාපීය අස්ථාවරත්වය හමුවේ එහි ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වී පවතී.














