මැදපෙරදිග කලාපයේ ඇවිළෙන යුද ගින්න ඉන්දීය සාගරය දක්වා ව්‍යාප්ත කරමින්, ඉරාන විප්ලවීය හමුදාව විසින් දියේගෝ ගාසියා දූපතේ පිහිටි ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා කඳවුර ඉලක්ක කර බැලැස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබේ. ඉරානයේ සිට කිලෝමීටර් 4,000ක් පමණ දුරින් පිහිටි මෙම උපායමාර්ගික මධ්‍යස්ථානය වෙත එල්ල වූ ප්‍රහාර සාර්ථක නොවූ බව ඇමෙරිකානු හමුදාව පවසයි. එක් මිසයිලයක් ගුවනේදී අක්‍රීය වී කඩා වැටී ඇති අතර, අනෙක ඇමෙරිකානු යුද නෞකාවක ප්‍රති-මිසයිල පද්ධතියක් මඟින් විනාශ කර ඇත. මෙම ප්‍රහාරයත් සමඟ ඉරානය සතුව කිලෝමීටර් 4,000ක් දුර විදිය හැකි ප්‍රබල මිසයිල පවතින බව තහවුරු වී ඇති අතර, එය මීට පෙර බටහිර බුද්ධි අංශ කළ පුරෝකථනයන් අභිබවා යාමකි.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් කිලෝමීටර් 1,700ක් පමණ දුරින් පිහිටි දියේගෝ ගාසියා දූපත, මැදපෙරදිග සහ දකුණු ආසියානු කලාපය නිරීක්ෂණය කරන ප්‍රධානතම ඇමෙරිකානු යුද මධ්‍යස්ථානයයි. 1960 දශකයේදී ස්වදේශිකයන් ඉවත් කර බ්‍රිතාන්‍යය විසින් ඇමෙරිකාවට බදු දුන් මෙම දූපතේ ස්වෛරීභාවය පිළිබඳව මොරිෂස් රාජ්‍යය සමඟ නීතිමය ගැටලු පැවතියද, එහි යුදමය වැදගත්කම හේතුවෙන් ඇමෙරිකාව තවදුරටත් කඳවුර පවත්වාගෙන යයි. මෙම ප්‍රහාරයත් සමඟ ඉන්දීය සාගර කලාපයේ නාවික සහ ගුවන් ගමන් මාර්ගවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවදානමක් මතුව ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව වාර්තා වේ.














