ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ආර්ථික සහයෝගීතාව නව මානයකට රැගෙන යමින්, 2030 වසර වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර තිබේ. කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (20) පැවති දෙවන වටයේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, විදේශ ලේකම් අරුණි රණරාජා සහ බ්‍රසීල විදේශ අමාත්‍යාංශයේ ලේකම් තානාපති සූසන් ක්ලීබෑන්ක් යන මහත්මීන් මෙහි සම සභාපතිත්වය දැරූහ. ආරක්ෂක, මිනිස් ජාවාරම් මර්දනය සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම් කඩිනම් කිරීමටත්, කිරි පට්ටි පාලනය හා උක් වගාව ආශ්‍රිත තාක්ෂණික ව්‍යාපෘති සඳහා බ්‍රසීල සහයෝගීතා නියෝජිතායතනයේ (ABC) දායකත්වය ලබා ගැනීමටත් මෙහිදී තීරණය විය.
මෙම රාජ්‍යතාන්ත්‍රික හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි බ්‍රසීල සංචාරය පිළිබඳ මූලික සැලසුම් ද සාකච්ඡා වී ඇති අතර, දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම් යළි පණ ගැන්වීමට ද පියවර ගෙන තිබේ. කෘෂිකර්මය, වරාය, නාවික සහ ක්‍රීඩා යන අංශවලින් නව සහයෝගීතා අවස්ථා හඳුනාගෙන ඇති අතර, බ්‍රසීල පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජිත කණ්ඩායමක් ඉදිරියේදී මෙරටට පැමිණීමට ද නියමිතය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ගෝලීය සැපයුම් දාමයන් අස්ථාවර වී ඇති පසුබිමක, ලොව ප්‍රධානතම ආර්ථිකයක් වන බ්‍රසීලය සමඟ මෙලෙස සබඳතා ශක්තිමත් කර ගැනීම ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමන් මගට බෙහෙවින් වැදගත් වනු ඇත.
අනතුරුව බ්‍රසීල නියෝජිතවරිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද හමුවී ඇති අතර, එහිදී දෙරටේ සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව සිය කැමැත්ත පළ කර තිබේ. බ්‍රසීලය වැනි රටවල් සමඟ ඇති කරගන්නා මෙම නව වෙළඳ ගිවිසුම් හරහා මෙරට අපනයනකරුවන්ට ලතින් ඇමෙරිකානු වෙළඳපොළට පිවිසීමට නව මාවත් විවෘත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම බ්‍රසීලයේ පවතින උක් වගාව සහ කිරි කර්මාන්තය ආශ්‍රිත නවීන තාක්ෂණය මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවෝදයකට හේතු වනු ඇතැයි ද විශ්වාස කෙරේ.














