ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව මෙරට ඩීසල් ලීටරයක මිල රුපියල් 260කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 140කින් ඉහළ දැමිය යුතුව ඇතත්, රජය එම සම්පූර්ණ බර පාරිභෝගිකයා මත පටවා නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ගෝලීය යුදමය වාතාවරණය හමුවේ බලාපොරොත්තු නොවූ ලෙස ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවයි. විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදය ආරම්භ වූ මුල් දිනවල ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගනිමින් ඉන්ධන රැස් කිරීම හේතුවෙන් සංස්ථාව සතු වූ සංචිත සීඝ්‍රයෙන් අවසන් වීම ද මෙම තත්ත්වයට බලපා ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
සභාපතිවරයා ඉදිරිපත් කළ නවතම දත්තයන්ට අනුව, පෙට්‍රල් ලීටරයක් සඳහා සංස්ථාවට රුපියල් 430ක පිරිවැයක් දැරීමට සිදුවුවද එය දැනට අලෙවි කරනු ලබන්නේ රුපියල් 398කට බැවින් ලීටරයකින් රුපියල් 32ක පාඩුවක් සිදුවේ. ඩීසල් සම්බන්ධ තත්ත්වය වඩාත් බරපතළ වන අතර, එහි සැබෑ පිරිවැය රුපියල් 586ක් වුවද දැනට අලෙවි කරන්නේ රුපියල් 382ක මුදලකටය. ඒ අනුව ඩීසල් ලීටරයකින් රුපියල් 204ක දැවැන්ත පාඩුවක් සංස්ථාවට දරන්නට සිදුව ඇති බව ඔහු අවධාරණය කළේය. පවතින මූල්‍ය අර්බුදය හමුවේ වුවද ජනතාවට සහනයක් සැලසීම සඳහා රජය මෙම පාඩුව දරා ගනිමින් සිටින බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














