හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් මියගිය රෝයි වයිසර් (Sgt. Roey Weiser) නම් 21 හැවිරිදි ඊශ්‍රායල-ඇමෙරිකානු සෙබළාගේ මව වන නයෝමි ෆයිෆර්-වයිසර් (Naomi Feifer-Weiser) තමන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සැලකූ ආකාරය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කර තිබේ. අද (2026 මාර්තු 25) දිනැති වාර්තාවලට අනුව ඇය ඊයේ (මාර්තු 24) වීඩියෝ තාක්ෂණය ඔස්සේ මානව හිමිකම් කවුන්සිලය ඇමතූ අතර එහිදී ඇය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කවුන්සිලයේ උප සභාපති තානාපති ට්සෙගාබ් කෙබෙබෙව් ඩාකා (Tsegab Kebebew Daka) විසින් ඇයව විවේචනය කිරීම මෙම මතභේදයට හේතු වී ඇත.
තම පුත්‍රයාව ඝාතනය කළ ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් කවුන්සිලය විසින් “ආවරණයක්” ලබා දෙන බවටත් එම කවුන්සිලය තුළ පවතින යුදෙව් විරෝධී (Antisemitism) ප්‍රවේශය පිළිබඳවත් ඇය මෙහිදී ප්‍රශ්න කළාය. “යුදෙව්වන්ට මානව හිමිකම් අයිති නැද්ද?” යනුවෙන් ඇය නැඟූ ප්‍රශ්නයට උප සභාපතිවරයා ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ ඇයගේ අදහස් දැක්වීම මානව හිමිකම් කවුන්සිලයේ ගෞරවයට හානි පමුණුවන බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට එල්ල වන චෝදනා හමුවේ මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.














