එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමයේදී මහජනයාට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සහ සාධාරණ මිලකට ලබාදීම තහවුරු කිරීම සඳහා, අමාත්‍යාංශ මට්ටමින් පවතින ඉන්ධන ගැටලු විසඳීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ නිලධාරීන් පස්දෙනෙකු පත් කිරීමට රජය තීරණය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම අධීක්ෂණය කිරීමේ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. මෙම නිලධාරීන්ගේ මූලික වගකීම වන්නේ එක් එක් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල මතු වන ඉන්ධන ගැටලු හඳුනාගෙන සංස්ථාව සමඟ සම්බන්ධීකරණය වෙමින් කඩිනම් විසඳුම් ලබාදීමයි.
කර්මාන්තකරුවන් විසින් සිය නිෂ්පාදන රට පුරා බෙදාහැරීම සඳහා දැනට වාහන වෙත ලබාදී ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට කර ඇති ඉල්ලීම් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය. මෙම ගැටලුව කඩිනමින් විසඳා නොගතහොත් භාණ්ඩ මිල ඉහළ යාමට සහ උත්සව සමයේදී ජනතාව දැඩි පීඩාවකට පත්වීමට ඉඩ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. සතොස, තොග ආනයනකරුවන්, සුපිරි වෙළඳසැල් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ හෝටල් සහ සේවා සපයන ආයතන වෙත අවශ්‍ය ඉන්ධන කෝටාවන් අදාළ විෂය භාර අමාත්‍යාංශ හරහා බලශක්ති අමාත්‍යාංශය වෙත යොමු කර කඩිනමින් ලබාගැනීමට ද මෙහිදී එකඟතාව පළ විය.
මීට අමතරව කෘෂිකර්ම සහ ධීවර කර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා මෙතෙක් පැවති සෘජු ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනුවට, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් වැනි රජයේ නිලධාරීන්ගේ නිර්දේශ මත QR කේත පද්ධතියක් හරහා ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද අවධානය යොමු කර තිබේ. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් සහ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.














