ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ මූල්‍ය හැකියාවන් ඉහළ නැංවීම උදෙසා වැදගත් පියවරක් සනිටුහන් කරමින් පසුගිය මැයි 21 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශය (2024-2028) එළිදක්වන ලදි. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ මාර්ගෝපදේශය එළිදැක්වීම මහ බැංකුවේ දී සිදු විය. මේ අවස්ථාවට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නෙලුමානි දවුලගල, මහ බැංකුවේ සහකාර අධිපති ඩබ්.ඒ. දිල්රුක්ෂිනී සහ මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චතුර ආරියදාස යන මහත්ම මහත්මීන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මෙහිදී කතා කළ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ පැතිරුණු ආර්ථික සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීමේ දී සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරක්ෂිත කිරීමේ දී මූල්‍ය සාක්ෂරතාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි.
මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ ජාතික උපාය මාර්ගය යටතේ ක්‍රියාත්මක වන මෙම මාර්ගෝපදේශය මගින් ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය හැසිරීම් වැඩිදියුණු කිරීම සහ මූල්‍යමය වශයෙන් ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම යන පොදු අරමුණු කරා මූල්‍ය සාක්ෂරතා මුලපිරීම්වල නියැළී සිටින සියලුම පාර්ශ්වකරුවන් පෙළගස්වමින්, සාක්ෂි මත පදනම් වූ විධිමත් මග පෙන්වීමක් සපයනු ලබන බව මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ ජාතික උපාය මාර්ගික සැලැස්මේ සම්බන්ධීකරණ අංශයේ මෙහෙයවීම යටතේ විවිධ පාර්ශ්වකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව සහයෝගී නැතහොත් ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙස මෙම මාර්ගෝපදේශය ගොඩනංවා ඇත. මහ බැංකුව කියන්නේ මෙම මාර්ගෝපදේශය මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම, පාරිභෝගික ආරක්ෂණය වර්ධනය කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සකස් කර ඇති බවයි. වඩා හොඳ මූල්‍ය පුරුදු ඇති කිරීම සහ ශ්‍රී ලාංකිකයන් අතර සමස්ත මූල්‍ය හැකියාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින්, දේශීය වෙළඳපොළ තුළ පවතින විවිධාකාර මූල්‍ය නිෂ්පාදන සහ සේවා පිළිබඳ දැනුවත්භාවය හා වගකීම් සහගත භාවිතය දිරිගැන්වීම මෙම මාර්ගෝපදේශය මගින් අපේක්ෂා කර ඇති බව ද එහි සදහන් වේ. තවද වත්මන් ආර්ථික පසුබිම සැලකිල්ලට ගෙන අනාගත පරපුරේ මූල්‍ය චින්තනය හැඩගැස්වීමේ වැදගත්කම හඳුනාගනිමින්, වඩා විචක්ෂණශීලී හා වගකිවයුතු මූල්‍ය හැසිරීම් ප්‍රවර්ධනය කිරීම ද මෙමගින් අවධාරණය කර ඇත.
මහජනයා මුළාවේ නොවැටෙන්න මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශයක්!
මෙම මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශය, සියලු පාර්ශ්වකරුවන් විසින් සාමූහිකව එකඟ වූ ක්‍රියාමාර්ග රැසක් අන්තර්ගත වූ පුළුල් ක්‍රියාකාරී සැලැස්මකින් සමන්විතය. මෙම ක්‍රියාකාරී සැලැස්ම මගින් මාර්ගෝපදේශය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කරමින් ඔවුන්ට අදාළ ආයතනික කාර්යභාරයන් සහ වගකීම් පැහැදිලිව දක්වයි. මෙම මුලපිරීම එනම් අදාළ පියවරයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ මූල්‍ය සහාය ලබා දෙමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වැදගත් හවුල්කරුවකු ලෙස කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හරහා මෙම මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශය කියවීම සඳහා දැන් මහජනතාවට ප්‍රවේශ විය හැකිය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා පසුබිම හඳුනාගැනීම සහ නිර්ණය කිරීම අරමුණු කරගනිමින් 2021 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව, ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව සමග එක්ව මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යටතේ ප්‍රථමවරට ජාතික මට්ටමේ මූල්‍ය සාක්ෂරතා සමීක්ෂණයක් පවත්වා ඇත. ගෘහ ඒකක ගණන 4,800 ක් ඒ සඳහා යොදා ගෙන ඇත. එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව, ශ්‍රී ලාංකිකයින්ගේ මූල්‍ය දැනුම සහ මූල්‍ය ආකල්ප, අනෙකුත් රටවල් සමග සසඳන කල සතුටුදායක මට්ටමක පවතින බවත්, මූල්‍ය හැසිරීම තවමත් පසුගාමී තත්ත්වයක පවතින බවත් පැහැදිලි වී ඇත. මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වන ජාතික උපාය මාර්ගය යටතේ ක්‍රියාත්මක වන මුලපිරීමක් වශයෙන් ඉකුත් මැයි 21 වැනිදා එළිදැක්වුණු ‘ශ්‍රී ලාංකීය මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශය’ නම් වාර්තාවෙහි මේ බව සඳහන් වේ. මෙහි අදහස කුමක් ද? එනම් අපේ රටේ ජනයාගේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඇති දැනුම වෙනත් රටවල් සමග සසඳන විට සතුටුදායක වුවත් මූල්‍ය කටයුතුවලදී ඔවුන් ක්‍රියාකරන ආකාරය ගැන එතරම් සතුටු විය නොහැකි බවයි. එය නම් අප අත්දැක ඇති දෙයකි. මේ අනුව මහජනයා නොයෙකුත් පිරමීඩ ජාවාරම් සහ අනවසර තැන්පත් ගැනීම් වැනි මූල්‍ය වංචාවල ඉතා පහසුවෙන් ගොදුරු බවට පත්ව තම වටිනා ධනය නැති කරගෙන අසරණභාවයට පත්ව ඇති බව අප දැක ඇත. ඇතැම් උගත් දැනුවත් පුරවැසියන් පවා මේවාට ගොදුරුව ඇත.
මේ ගැන ඕනෑ තරම් පුවත් මාධ්‍ය මගින් ද වාර්තා කර ඇත. මේවායේ ගොදුරු බවට පත්ව මුදල් අහිමි කරගෙන අන්තිමේ රජයට සහ මහ බැංකුවට දොස් කියන අයුරු ද අපට අසන්නට ලැබී ඇත. මේ නිසා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පුරවැසියාට ඇති දැනුම මෙන්ම මූල්‍ය කටයුතුවලදී ඔවුන් ක්‍රියාකරන ආකාරය ගැන ද අප සතුටුදායක තත්ත්වයක් ඇතිකරගත යුතුව තිබේ. මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කියන පරිදි වඩා හොඳ මූල්‍ය පුරුදු ඇති කිරීම සහ ශ්‍රී ලාංකිකයන් අතර සමස්ත මූල්‍ය හැකියාව ඉහළ නංවාගත යුතුව තිබේ. දේශීය වෙළඳපොළ තුළ විවිධාකාර මූල්‍ය නිෂ්පාදන සහ සේවා දැකිය හැකිය. මේවා ගැන හොඳ අවබෝධයක් පුරවැසියන්ට තිබේ නම් ඒ දැනුවත්භාවය මත වගකීම් සහගත ලෙස කටයුතු කරන්නේ නම් ඔවුන් රැවටීමට ඇති ඉඩකඩ අවම කරගත හැකිය. ඒ අනුව මේ ‘ශ්‍රී ලාංකීය මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශය’ මගින් අපේක්ෂා කරන්නේ ද එවැනි තත්ත්වයක් ඇති කර ගැනීම බව අපට කිව හැකිය. ඒ සඳහා අනාගත පරපුරේ මූල්‍ය චින්තනය එනම් මූල්‍ය කටයුතු ගැන ඇති ඔවුන් සිතන ආකාරය හැඩගැස්වීමේ වැදගත්කම ද මෙමගින් හඳුනාගෙන ඇත. එසේ හඳුනාගනිමින් වඩා විචක්ෂණශීලී හා වගකිවයුතු මූල්‍ය හැසිරීම් ප්‍රවර්ධනය කිරීම ද මෙම මාර්ගෝපදේශය මගින් අවධාරණය කර තිබේ. එනම් සරලවම දැනට දක්නට ලැබෙන මූල්‍ය කටයුතුවල දී ජනයා හැසිරෙන සහ ක්‍රියා කරන ආකාරය (එනම් මූල්‍ය හැසිරීම) වර්ධනය කරගත යුතුව තිබේ. දැනට ශ්‍රී ලාංකිකයින්ගේ මූල්‍ය දැනුම සඳහා සැලකිය යුතු මට්ටමක තිබීමට හේතුව ද එම මාර්ගෝපදේශයේ මෙසේ සඳහන් වේ.
‘ශ්‍රී ලාංකිකයින්ගේ සැලකිය යුතු මට්ටමේ මූල්‍ය දැනුම සඳහා ඉවහල් වූයේ මූල්‍ය සාක්ෂරතා මට්ටම වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කළ සියලු පාර්ශ්වයන් විසින් දශක ගණනාවක් තිස්සේ සිදු කළ දීර්ඝකාලීන ප්‍රයත්නයන් විය හැකිය. කෙසේ වෙතත්, ධනාත්මක මූල්‍ය හැසිරීම සඳහා පෙළඹවීම පිළිබඳව යොමු කරන ලද අවධානය ප්‍රමාණවත් නොවේ. අනෙක් අතට, සියලු පාර්ශ්වයන්ගේ මෙම ප්‍රයත්නයන් සමස්ත ආර්ථිකය පුරා ඛණ්ඩනය වී විසිරී පවතී. එම නිසා මෙම මුලපිරීම්වල කාර්යක්ෂමතාවය කීප ගුණයකින් වැඩි කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්තිමය මග පෙන්වීමක් සැපයිය යුතුව ඇත.’
මූල්‍ය සාක්ෂරතාවයේ මට්ටම එනම් ඉතා සරලව කියන්නේ නම් මූල්‍ය කටයුතු ගැන ජනයාට ඇති දැනුමේ මට්ටම වැඩි දියුණු කිරීම සඳහා මහ බැංකුව මෙන්ම මේ රටේ ජනමාධ්‍ය ආයතන ද සැලකිය යුතු කාර්යභාරයක් පසුගිය කාලාන්තරය තිස්සේ කර ඇති බව අපගේ අදහසයි. මහ බැංකුවේ ප්‍රශ්නය වන්නේ ඔවුන්ට මේ ගැන දැනුම තිබුණත් ඒ දැනුම ජනයාට දීමට නොයෙකුත් ක්‍රියාමාර්ග (උදාහරණ ලෙස දැන්වීම් සහ මාධ්‍ය නිවේදන වැනි) ගත්ත ද එය එතරම් ඵලදායී නොවීමයි. එයට හේතුව වී ඇත්තේ ඔවුන්ට එය මහජනයාට තේරෙන සරල භාෂාවකින් සන්නිවේදනය කිරීමට අසමත් වීමයි. මේ නිසා මහ බැංකුව විසින් ජනමාධ්‍යවේදීන් සමග එක්ව මේ ගැන යම් සහයෝගී ප්‍රයත්නයක් දියත් කරන්නේ නම් වඩාත් ඵලදායී ප්‍රතිපල අත්වනු ඇති බව මේ ලියුම්කරුගේ අදහසයි. ජනමාධ්‍ය කිව්වත් මේවා අද සමාජ මාධ්‍ය සමග බැඳී තිබේ. එනම් ප්‍රධාන පුවත්පත්, රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතන ගතහොත් ඒවාට වෙනම යූටියුබ් නාලිකා, වෙබ් අඩවි මෙන්ම ෆේස් බුක් පිටු ද තිබේ. ඒවා ද විශාල මහජනතාවක් පරිශීලනය කරමින් සිටී. එසේම පුවත්පත් ගතහොත් ඒවායේ භෞතික පිටපතට අමතරව මාර්ගගතව (ඔන්ලයින් පිටපත) මෙන්ම එහි විද්‍යුත් පිටපත් (ඊ – පේපර්) ද සමාජ මාධ්‍ය හරහා විශාල පිරිසක් පරිශීලනය කරනු ලබයි. එනම් කෙනෙක් පුවත්පතේ භෞතික පිටපත මිලදී නොගත්තත් ඔවුන් පුවත්පත් පරිශීලනය නොකරන බව කිව නොහැකිය. අනිත් ජනමාධ්‍ය එනම් රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ගත්ත ද ඒවා ගැන ද අපට මේ දෙයම සඳහන් කළ හැකිය. සියලුම ප්‍රධාන රූපවාහිනී නාලිකා පාහේ තම වැඩසටහන් තම යූටියුබ් නාලිකාව හරහා ප්‍රචාරය කරයි. ඒ නිසා ඇතැම් විට කෙනෙක් රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශය හෝ වෙනත් වැඩසටහනක් බලන්නේ එහි යූටියුබ් නාලිකාව හරහා විය හැකිය. මෙසේ විවිධ ජනමාධ්‍යයන් මේ වන විට සමාජ මාධ්‍ය සමග ද මුසු වී ඩිජිටල් පැත්තට පුළුල් ලෙස පරිවර්තනයක් වී ඇත. අප මේ කරුණු කීවේ ඇතැම් විට මහ බැංකුව වැනි ආයතන දැන් දැන් පොදුවේ සමාජ මාධ්‍ය ගැන ජනමාධ්‍යටත් වඩා වැඩි සැලකිල්ලක් දක්වන බවට වන තොරතුරු ද අපට ලැබෙමින් ඇති නිසාය. පසුගිය මහ බැංකු මාධ්‍ය හමුවක දී අප දන්නා තරමින් ප්‍රථම වතාවට මහ බැංකු නිලධාරීන් හෝ ජනමාධ්‍යවේදීන් නොවන පිරිසක් ද සිටියේය. අප දන්නා තරමින් මාධ්‍ය හමු පවත්වන්නේ මාධ්‍යවේදීන්ට ය. ඒ අයට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය හැඳුනුම්පතක් තිබේ. එය නැතුව මාධ්‍යවේදීන්ට පවා මහ බැංකුවේ මාධ්‍ය හමුවකට සහභාගි විය නොහැකිය.
මහජනතාව ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යයත් පරිශීලනය කරයි. එසේම ජනයා සමාජ මාධ්‍ය හරහා ද ජනමාධ්‍ය පරිශීලනය කරයි. පොදුවේ ගත් විට සමාජ මාධ්‍ය තුළ සිටින්නේ වෘත්තීය මාධ්‍යවේදීන් හෝ සන්නිවේදකයින් පිරිසක් නොවේ. එහෙත් වෘත්තීය මාධ්‍යවේදීන් හෝ සන්නිවේදකයින් ද සමාජ මාධ්‍ය හරහා තම සන්නිවේදන හා මාධ්‍ය මෙහෙවර ඉටු කරමින් සිටින බව ද රහසක් නොවේ. අනිත් අතට සාමාන්‍ය ජනතාව මෙන්ම ප්‍රධාන මාධ්‍ය ආයතනවල සිටින වෘත්තීය මාධ්‍යවේදීන් සියලු දෙනාම (එතරම් සුදුසුකම් නැති අයද ප්‍රධාන මාධ්‍ය ආයතනවල නැතුවා නොවේ.) පාහේ ද සමාජ මාධ්‍ය පරිශීලනය කරයි. එහෙත් ඔබ අප සියලු දෙනාම දන්නා පරිදි (බොහෝ විට) සමාජ මාධ්‍ය තුළ ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් ඉදිරිපත් කළ හැකිය. සමාජ මාධ්‍ය තුළ බොහෝ අසත්‍ය කරුණු සංසරණය වනු ද අපට දැකගත හැකිය. ඒවා පාලනය කිරීම ද ඉතා දුෂ්කරය. මේ නිසා ඇත්ත කුමක් ද, බොරුව කුමක් ද යන්නත් මහජනයාට සොයා ගැනීම පවා අපහසු වන අවස්ථා ඇති බව ද රහසක් නොවේ. එහෙත් වගකිව යුතු මාධ්‍ය ආයතනයකට හෝ එහි සේවය කරන මාධ්‍යවේදියකුට එසේ කටයුතු කිරීමට අපහසුය. ඔවුන්ට එසේ අසත්‍ය සමාජගත කළ නොහැකිය. අතපසු වීමකින් හෝ එවැන්නක් සිදු වුවත් එය පසුව නිවැරදි කිරීමට ද සිදු විය හැකිය. එසේම ඇතැම් විට සමාජ මාධ්‍ය හරහා පැතිර යන ඇතැම් දේවල් සත්‍ය ද අසත්‍ය ද කියා බොහෝ දෙනෙක් විමසන්නේ ද අපගෙනි. එසේම මේ, ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය දැනුම සහ මූල්‍ය ආකල්ප, අනෙකුත් රටවල් සමග සසඳන කල සතුටුදායක මට්ටමක පවතින නමුත් මූල්‍ය හැසිරීම තවමත් පසුගාමී තත්ත්වයක පවතින බවක් මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශයේ සඳහන් වන්නේ අපේ රටේ ජනයා ඇතැම් විට අධිකව ප්‍රවර්ධනය කෙරෙන ඇතැම් වංචනික මූල්‍ය යෝජනාක්‍රම සම්බන්ධයෙන් නිසි ලෙස නුවනැතිව හැසිරී නොමැති නිසා විය හැකිය.
ඔවුන් බහුල වශයෙන් ඒවාට ගොදුරු වී මුළාවට පත්ව ඇති නිසා ද විය හැකිය. පිරමීඩ යෝජනා ක්‍රම ඇතුළු මේ වංචනික මූල්‍ය යෝජනා ක්‍රම වඩාත් ප්‍රවර්ධනය කෙරෙන්නේ කොහේ ද? කවර මාධ්‍ය හරහා ද? අපට නම් නිරීක්ෂණය කළ හැක්කේ එසේ කරන්නේ වැඩි වශයෙන් සමාජ මාධ්‍ය හරහා බවයි. එය සමාජ මාධ්‍යයේ වරදක් නොවිය හැකිය. කෙසේ හෝ තම මූල්‍ය කටයුතු ගැන ඇති යම් හෝ දැනුමට අනුව මෙසේ සමාජ මාධ්‍ය හරහා අධිකව ප්‍රවර්ධනය කෙරෙන ඇතැම් වංචනික මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනයා මොළේ කල්පනා කර හැසිරී නොමැත. ඒ නිසා ජනයාගේ මේ මූල්‍ය කටයුතු ගැන ඇති මෙවැනි හැසිරීමේ තත්ත්වයන් වෙනස් කරගත යුතු බවට බලධාරීන් හඳුනාගෙන තිබීම නම් අපට සතුටට කරුණකි. ඒ සඳහා ජනමාධ්‍ය හරහා මෙන්ම සමාජ මාධ්‍ය හරහා ද බොහෝ දේ කළ හැකිව තිබේ. අද සෑම කෙනෙක් අතම පාහේ ජංගම දුරකතනයක් තිබේ. එහෙත් මහ බැංකුව වැනි ඉතා වගකිව යුතු රටේ ප්‍රධානතම මූල්‍ය ආයතනය සමාජ මාධ්‍ය සමග ගනුදෙනු කිරීමේ දී මේ කරුණු ගැන ද සැලකිලිමත් වීම වටී. එය හේතු වනු ඇත්තේ ඔවුන්ගේම යහපතට ය. මහ බැංකු සන්නිවේදන ක්‍රියාවලියේ නොයෙකුත් අඩුපාඩු තිබේ. ඒවා වඩාත්ම හොඳින් දන්නේ අන් කිසිවෙක් නොව දිගු කලක් තිස්සේ මහ බැංකුව ආවරණය කරන මූල්‍ය ආර්ථික කටයුතු පිළිබඳ වාර්තා කරන මාධ්‍යවේදීන්මය. එම අඩුපාඩු ද නිවැරදි කර ගැනීමෙන් ඔය කියන මහජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව මෙන්ම ඔවුන්ගේ මූල්‍ය හැසිරීම ද තවත් වර්ධනය කරගත හැකිය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]
උපුටා ගැනිම – දිවයින පුවත්පත