මෙරට පිළිකා රෝගයෙන් පෙළෙන සහ සුවපත් වී ඇති කාන්තාවන් වෙනුවෙන් ස්වභාවික හිසකෙස් පළදනා පරිත්‍යාග කිරීමේ “සොඳුරු දිරියවන්ති” ජාතික වැඩසටහනේ ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
“රසායනික චිකිත්සා” පිළිකා ප්‍රතිකාරවල අතුරු ප්‍රතිඵලයක් ලෙස අහිමිවන හිසකෙස් වෙනුවෙන්, වැඩිවන හිසකෙස් පළඳනා අවශ්‍යතාවය සපුරාලීම සහ හිසකෙස් අහිමිවීම නිසා මානසික හා සමාජ කම්පනයට පත් කාන්තාවන් දිරිමත් කිරීම අරමුණුං කොටගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 30,000 ක් පමණ වාර්තා වන අතර, මින් 15,500 ක් පමණ කාන්තාවන් වේ. මෙම ජාතික ව්‍යාපෘතිය වෙතින් ස්වභාවික හිසකෙස් පළදනා 6000 ක් වාර්ෂිකව පරිත්‍යාග කිරීමට අපේක්ෂා කරනු ලබන අතර, එම වැඩසටහනේ පළමු අදියරේ දී මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ජාතික රෝහල, බදුල්ල පළාත් මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය ශික්ෂණ රෝහල, යාපනය තෙලිප්පලෙයි මුලික රෝහල, රත්නපුර පළාත් මහ රෝහල, මඩකළපුව ශික්ෂණ රෝහල යන රෝහල්වල පිළිකා රෝගීන් වෙත මෙම ස්වභාවික හිසකෙස් පළදනා පරිත්‍යාග කිරීමට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ඉන්දිරා පිළිකා භාරයේ සභාපති වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක, ශ්‍රී ලංකා පිළිකා වෛද්‍ය විද්‍යාලයේ ලේකම් වෛද්‍ය සචිනි මලවිආරච්චි, විධායක අධ්‍යක්ෂක/ හේමාස් හොල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.