සුවපත් රටක් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක “Healthy Sri Lanka” වැඩසටහනට සමගාමීව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සංවිධානය කෙරෙන “ආරෝග්‍යා” ජංගම සුව සායන මාලාවේ 54 වන වැඩසටහන පසුගියදා ආණමඩුව ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම සායනය මූලික වශයෙන් එම මධ්‍යස්ථානයේ වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා සහ උන්වහන්සේලාට ඇප උපස්ථාන කරන පිරිස ඉලක්ක කරගනිමින් පවත්වනු ලැබූ අතර, ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද මෙහිදී සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා එක්ව සිටියහ.
වෛද්‍ය සායන රැසකින් සමන්විත වූ මෙම වැඩසටහන හරහා අක්ෂි, දන්ත, දියවැඩියා සහ ශ්වසන රෝග පරීක්ෂාවන් මෙන්ම රුධිර පීඩනය, ECG පරීක්ෂාව, කොලෙස්ට්‍රෝල් සහ රුධිර සීනි මට්ටම පරීක්ෂා කිරීම වැනි සේවාවන් රැසක් නොමිලේ ලබා දෙන ලදී. මීට අමතරව ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර, මානසික උපදේශනය සහ පෝෂණවේදී උපදෙස් ලබා දීම ද මෙහිදී සුවිශේෂී වූ අතර, කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රාදේශීය රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දායකත්වය මේ සඳහා නොමසුරුව හිමි විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා අමාත්‍යාංශය දියත් කර ඇති මෙම ජංගම සුව සායන වැඩසටහන මඟින් රෝග කල්තියා හඳුනා ගැනීමට සහ ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් ලබා දීමට මනා පිටුවහලක් ලැබෙන බව නිරීක්ෂණය විය.














