මැදපෙරදිග පවතින දේශපාලන සහ යුදමය නොසන්සුන්තාවය හමුවේ වුවද, අබුඩාබි එමීර් රාජ්‍යයේ සියලුම හෝටල්, සංචාරක ආකර්ෂණ ස්ථාන සහ සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව (DCT) තහවුරු කර තිබෙනවා. ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද සංචාරකයන්ට ආරක්ෂිත සහ ගුණාත්මක අත්දැකීමක් ලබාදීමට බලධාරීන් සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.
වර්තමාන තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීමෙන් හෝ ප්‍රමාද වීමෙන් සිය රටවලට යාමට නොහැකිව අබුඩාබිහි රැඳී සිටින සංචාරකයන් වෙනුවෙන් රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව, පිටවීමේ දිනය (Check-out date) පසු වූ නමුත් සංචාරක දුෂ්කරතා ඇති අමුත්තන්ට ඔවුන්ගේ නවාතැන් කාලය දීර්ඝ කර ගැනීමට අවසර ලබා දී ඇති අතර, එහි පිරිවැය සංචාරක අධිකාරිය විසින් දරනු ලබනවා.
අබුඩාබි සංචාරක උපායමාර්ගය 2030 (Tourism Strategy 2030) ඉලක්ක කරා සාර්ථකව ගමන් කරමින් සිටින බවත්, පසුගිය වසරේ මුල් මාස 11 තුළ පමණක් සංචාරකයන් මිලියන 5.4ක් එමීර් රාජ්‍යය වෙත පැමිණ ඇති බවත් දත්ත පෙන්වා දෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික හා සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරන්නේ ඕනෑම හදිසි තත්ත්වයකදී සංචාරකයන්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් තානාපති කාර්යාල සමඟ සම්බන්ධ වී අවශ්‍ය සියලු ලොජිස්ටික් සහාය ලබාදීමට පියවර ගෙන ඇති බවයි.














