රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ පවතින ආචාර්ය සහ මහාචාර්යවරුන්ගේ දැඩි හිඟය හේතුවෙන් එහි අධ්‍යයන කටයුතු බරපතල ලෙස අඩාල වී ඇති බවට එම පීඨයේ ශිෂ්‍ය සංගමය චෝදනා කරයි. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කළමනාකරණ අධ්‍යයන පීඨ සංගමයේ සභාපති තිලිණ නිරෝෂ් මහතා පෙන්වා දුන්නේ පීඨය තුළ පවතින මෙම මානව සම්පත් හිඟය සිසුන්ගේ අධ්‍යාපන අයිතියට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.
දැනට පවතින දත්තවලට අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2,000කට අධික සංඛ්‍යාවක් මෙම පීඨය තුළ අධ්‍යයන කටයුතුවල නිරත වුවද, සමස්ත සිසුන් පිරිස සඳහාම සිටින්නේ මහාචාර්යවරුන් 12 දෙනෙකු පමණක් බව ඔහු මෙහිදී අනාවරණය කළේය. පවතින ආර්ථික හා පරිපාලනමය ගැටලු හේතුවෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් වීම සහ නව බඳවා ගැනීම් ප්‍රමාද වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවත්, බලධාරීන් කඩිනමින් මේ සඳහා විසඳුම් ලබා නොදුනහොත් උපාධි පාඨමාලා නියමිත කාලයට අවසන් කිරීමට නොහැකි වනු ඇති බවත් ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.














