මහනුවර නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක මේ වන විට උග්‍ර ගෘහස්ත ගෑස් හිඟයක් පවතින බව ප්‍රදේශවාසීහු සහ ව්‍යාපාරිකයෝ පවසති. විශේෂයෙන්ම තෙල්දෙණිය, දිගන සහ මහනුවර නගරවල ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් වර්ග දෙකම ලබා ගැනීමට නොමැති වීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මහනුවර නගරය ආශ්‍රිතව මෙම හිඟය පවතින්නේ දින විස්සක පමණ කාලයක සිට බව වාර්තා වේ.
ගෑස් හිඟය හේතුවෙන් නගරයේ ආපනශාලා කිහිපයක්ම මේ වන විට වසා දැමීමට සිදුව ඇති බව එම ව්‍යාපාරිකයන් පෙන්වා දෙයි. ලාෆ් ගෑස් මිල ඉහළ යාමත් සමඟ පසුගිය මසක පමණ කාලයක සිට අදාළ අලෙවි නියෝජිතයන් වෙත ගෑස් තොග ලැබී නොමැති බව ද අනාවරණය වී තිබේ. පවතින අධික වර්ෂාව හමුවේ විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිත කරමින් ආහාර පිළියෙළ කිරීමට ද අපහසු වීම නිසා නිවෙස්වල මෙන්ම ආපනශාලාවල දෛනික කටයුතුවලට බරපතළ බාධා එල්ල වී ඇත.














