එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් “වෙබ්” කේලර් (Admiral Steve “Webb” Koehler) තෙදින නිල සංචාරයක් සඳහා අද (19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ලබන 21 වැනිදා දක්වා මෙරට රැඳී සිටින ඔහු, රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සංචාරයේදී සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම, කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීම සහ දෙරටේ නාවික හමුදා අතර අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ. ලොව විශාලතම නාවික බලඇණි විධානය වන එක්සත් ජනපද පැසිෆික් බලඇණිය, ඉන්දු-පැසිෆික් කලාපයේ වැදගත් මුහුදු මාර්ග ආරක්ෂා කිරීම සහ හවුල්කාර රටවල් අතර සබඳතා වර්ධනය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.
අද්මිරාල් කේලර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන දෙවන අවස්ථාව මෙය වන අතර, එමඟින් ගෝලීය සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික වැදගත්කම එක්සත් ජනපදය විසින් යළි අවධාරණය කරනු ලබයි. දේශසීමා ඉක්මවා යන සමුද්‍රීය තර්ජනවලට ඒකාබද්ධව මුහුණ දීම සහ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීම මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.














