ලොව විශාලතම තෙල් සමාගමක වන ADNOC (Abu Dhabi National Oil Company) හි කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අල් ජාබර් (Sultan Al Jaber) මහතා හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්බන්ධයෙන් ඉරානය අනුගමනය කරන ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබේ. LinkedIn ජාලය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ඉරානය විසින් මෙම ජාත්‍යන්තර ජල මාර්ගය හරහා ගමන් කිරීමට කොන්දේසි පැනවීම සහ අවසර ලබා ගැනීමට බලකිරීම “නාවික ගමනාගමනයේ නිදහස” නොව, ලෝක ආර්ථිකය ප්‍රාණ ඇපයට ගනිමින් සිදුකරන “බලහත්කාරයක්” (Coercion) බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය කිසිදු රටක් විසින් නිර්මාණය කරන ලද්දක් නොවන අතර, එය එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) මගින් පාලනය වන ස්වභාවික ජල මාර්ගයක් බව ඔහු සිහිපත් කරයි. එබැවින් මෙම මාර්ගය හරහා ගමන් කිරීම ඕනෑම රටකට හිමි අයිතියක් මිස, කිසියම් පාර්ශවයකට රිසි පරිදි ලබාදීමට හෝ අත්හිටුවීමට හැකි වරප්‍රසාදයක් නොවන බව ඔහු අවධාරණය කළේය.
මෙම අවහිර කිරීම් හේතුවෙන් මේ වන විට නෞකා 230කට අධික ප්‍රමාණයක් තෙල් තොග සමඟ යාත්‍රා කිරීමට නොහැකිව රැඳී පවතින බවත්, මෙය ජාත්‍යන්තර වෙළඳාමට එල්ල වූ “ආර්ථික ත්‍රස්තවාදී” ක්‍රියාවක් බවත් අල් ජාබර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණ ද, ඉරානය විසින් පනවනු ලබන මෙවැනි සීමාවන් නිසා ගෝලීය බලශක්ති සැපයුමට ඉදිරි දින 40ක කාලය තුළ දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි ඔහු අනාවැකි පළ කරයි.
මුලාශ්‍රය – Al Jazeera / Reuters / Energy Connects














