ලොව ප්‍රමුඛතම මෘදුකාංග සමාගමක් වන ඇඩෝබි (Adobe Inc.) හි ප්‍රධාන විධායක නිලධාරී ශාන්තනු නාරායන් මහතා වසර 18ක දීර්ඝ සේවා කාලයකින් පසු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ නැගී එන අභියෝග හමුවේ සමාගමේ ඉදිරි ගමන පිළිබඳ විවිධ මත පළවන පසුබිමක මෙම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර ඇත. තම අනුප්‍රාප්තිකයා තෝරා ගන්නා තෙක් ඔහු ධුරයේ කටයුතු කරනු ඇත.
මෙම නිවේදනයත් සමඟ මයික්‍රොසොෆ්ට් (Microsoft) ප්‍රධාන විධායක සත්‍ය නඩෙල්ලා මහතා විසින් ශාන්තනු නාරායන් වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. නාරායන්ගේ නායකත්වය සහ මිත්‍රත්වය අගය කළ නඩෙල්ලා, ඔහු ලොව වැදගත්ම මෘදුකාංග සමාගමක් ගොඩනැඟූ බවත්, නිර්මාණකරුවන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් නව මාවත් විවර කළ බවත් සඳහන් කළේය.
ශාන්තනු නාරායන් මහතා 1998 දී ඇඩෝබි සමාගමට එක් වූ අතර 2007 වසරේදී එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් විය. ඉන්දියානු සම්භවයක් සහිත ලොව සාර්ථකම තාක්ෂණික නායකයෙකු ලෙස සැලකෙන ඔහු, 2017 වසරේ සිට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.















